Tuesday, August 17, 2021

රන් දරුවාගේ අමරණීය ධාවනය

 ⚽⚽රන් දරුවාගේ අමරණීය ධාවනය...



⚽ඒ 1986 ජුනි 22 දාය.මෙක්සිකෝ⁣වේ අගනුවර වූ මෙක්සිකෝ සිටි හි පිහිටා ඇති මෙක්සිකානු ජාතික කණ්ඩායමේ නිල ක්‍රිඩාංගනය වන සුන්දර Estadio Asteca ක්‍රිඩාංගනයට මධ්‍යහන දොලහේ කණිසම උදාවිය.එලෙස මධ්‍යාහනය උදා වුවත් නගරය සහ ක්‍රිඩාංගනය පුරා පැතිර තිබුනේ සෙල්සියස් අංශක 25 ක පමණ උණුසුමක් සහිත මෙක්සිකෝවේ ජූනි මාසයට ආවේණික ඉතා සෞම්‍ය කාලගුණයකි..


⚽ශ්‍රි ලංකාවේ නම් නුවරඑළියට ආසන්න උසකින් එනම් මුහුදු මට්ටමෙන් මීටර් 2200 පමණ ඉහලින් පිහිටි Asteca ක්‍රිඩාංගණය එ් වන විටත් 114,580 දෙනෙකුගෙන් පිරි ඉතිරි ගියේ එහි ධාරිතාව වූ 87,523 ද ඉක්වමා යමිනි..


⚽පිරිස එසේ එක් රැස් වූයේ අන් කිසිවක් නිසා නොව ලෝක පාපන්දුවේ  කිරුල දිනා ගැනිමේ මහ සංග්‍රාමයේ තවත් එක් විශිෂ්ට සටනක් සියසින් දැක බලා ගැනිමේ වාසනාව උදා කර ගැනීමටය..


⚽ඒ වන විට පැවතෙමින් තිබු දහතුන් වන පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟයක් සදහා පිටියට පිවිසියේ ලා ඇල්බිසිලෙස්තේ(La Albiceleste) නොහොත් සුදු සහ අහස් නිල් යන අන්වර්ථ නාමයෙන් හැදින්වූ දකුණු ඇමරිකානු පාපන්දු දැවන්තයන් වන ආර්ජන්ටිනාවත් ත්‍රිත්ව සිංහයන් ලෙස පාපන්දු ලොව ප්‍රචලිත එංගලන්තයත්ය..


⚽වෙනදා ආර්ජන්ටිනියානුවන් පලදින සුදු නිල් ඉරි කමිසය වෙනුවට තද නිල් පැහැ කමිස වලින් සැරසි පිටියට බට ඇල්බිසිලෙස්තේ කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ පොකුටු කොණ්ඩයකට හිමිකම් කියූ අංක දහයේ ජර්සිය ඇඟලා සිටි තාරුණ්‍යයට උරුම දඩබ්බර මුහුණක් ඇති අඩි පහයි අඟල් පහක් උසැති විසි හය හැවිරිදි කඩවසම් තරුණයෙකි..


⚽ඒ අන් කවරකුවත් නොව El Pibe de Oro නැතහොත් රන් දරුවා යන සුරතල් නාමයෙන් හැඳින්වූ වසර ගණනාවක් පුරා පාපන්දු රසිකයන් අමන්දානන්දයට පත් කල දියේගෝ අල්මන්දෝ මැරඩෝනාය..


⚽වාසනාව යනු  දුර්ලභ දෙයකි.ලඟ ලඟ දෙවරක් වාසනාවන්ත වීම අති දුර්ලභ ලැබීමකි.නමුත් මෙදින Asteca ක්‍රිඩාංගනයට රැස්වු පාපන්දු ලෝලියන් මේ දුර්ලභ අවස්ථාව දිනා ගැනීමට තරම් පින් කර තිබුනි.මන්ද යත් ලොව ප්‍රබල පාපන්දු කණ්ඩායම් දෙකක් ක්‍රිඩා කරන තරඟයක් නැරඹීම මෙන්ම එදා මෙදා තුර පාපන්දු තරඟයකදි ලබා ගත් විශිෂ්ටතම ගෝලය සියැසින් දැක ගැනීමට ඔවුනට හැකිවු බැවිනි..


⚽ටියුනිසියානු ජාතික විනිසුරු අලි බින් නසාර්ගේ විසිල් හඩත් සමග ඇරඹුන තරගයේ ප්‍රථම අර්ධයේදීම ආර්ජන්ටිනියානුවන් එංගලන්තය හෙම්බත් කිරිමට පටන් ගත්හ. එම ක්‍රියාන්විතයේ කප්පිත්තා වූයේ  මැරඩෝනාය.නොඋස් ක්‍රිඩකයකු වූ මැරඩෝනා තමා මෙන් එක හමාරක් පමණ උස එංගලන්ත ක්‍රිඩකයන් අතරින් කඩිසරව රිංගා යමින් මනරම් ක්‍රිඩා රටාවක නිරත විය.කෙසේ හෝ පලමු අර්ධය ගෝල රැස් කිරීමකින් තොරව නිමා වූයේ කුණාටුවකට කලින් මුහුද නිහඬ වෙන අකාරයේ හැඟිමක් ඇති කරවමිනි..


⚽දෙවන අර්ධයේ 51 වන විනාඩියේදි තරඟයේ පෙරමුණ ලබා ගැනීමට ආර්ජන්ටිනාව සමත් වූයේ අතිශය ආන්දෝලනාත්මක ගෝලයක් සමගිනි.එහිද මූලිකත්වය ගත්තේ ⁣මැරඩෝනාය.පසු කලෙක "දෙවියන්ගේ අත"(Hand of God) ලෙස ඔහුම හැදින්වු අවයවය යොදා ගෙන ලබා ගත් ⁣එම ගෝලය ගැන මෙතන සඳහන් කිරීම අවැසි නොවන්නේ ඉන් මිනිත්තු හතරකින් පසුව මැරඩෝනා සිදුකල විශිෂ්ට වික්‍රමයේ වටිනාකම ඉන් දශමයක් වත් අඩු නොවු නිසාය..


⚽තරඟයේ 55 වන විනාඩිය උදා විය..මැරඩෝනා පිටිය මැද දකුණු පසට වන්නට රැඳි සිටියේය.මැද පෙල ක්‍රිඩක හෙක්ටර් එන්රීකේ මැරඩෝනා හ⁣⁣ට පන්දුව යොමු කල අතර ඉන් අනතුරුව එලඹි තත්පර දහය තුල දියේගෝ මැරඩෝනා ප්‍රකට කල දස්කම ඔහු සදා අමරණිය කර වීමට සමත් විය..


⚽පන්දුව ලැබීමත් සමගම ඉතා කඩිසරව අංශක 180 කින් කැරකුන මැරඩෝනා තමා වටා සිටි පීටර් රීඩ් සහ පීටර් බ්‍රැඩ්ස්ලි අන්ද මන්ද කරමින් තම යාර හැටේ සුපිරි ධාවනය ඇරඹීය.තමාව රැවටු මැරඩෝනා පසු පස හඹා යෑමට පීටර් රීඩ් උත්සහ කලත් මැරඩෝනා⁣ගේ විස්මයජනක වේගය හමුවේ හුස්ම අල්ලා ගත නොහැකිව ඔහුට සිය ගමන නතර කිරීමට සිදු වුනි..


⚽අදහාගත නොහැකි පන්දු පාලනයක් සමගින් දිව එන මැරඩෝනා  නැවැත්වීමට මීලගට ඉදිරිය⁣ට පැන්නේ ⁣ටෙරි බුචර්ය.ක්ෂණයකින් ඔහුවද අසරණ ලුහු බඳින්නෙකු කරමින් මැරඩෝනා ක්‍රමයෙන් එංගලන්ත දැල වෙතට ලඟා විය.එතනදි පසුපෙල ක්‍රිඩක ටෙරි ෆින්වික්ව 114,581 වැනි නරඹන්නා කරමින් මැරඩෝනා එංගලන්ත ප්‍රහාරක සීමාවට ඇතුලු විය..


⚽එහිදි හති හලමින්  පසුපස පැමිණ බිම පෙරලෙමින් තමා  අල්ලාගැනීමට තැත් කල ටෙරි බුචර්ව දෙවැනි වරටත් පැරදවූ මැරඩෝනා එංගලන්ත දැල රකින්නා වූ පීටර් ශිල්ටන්ව දක්ෂ ආකාරයට මුලා කරමින් විදුලි වේගයෙන් දැල තුලට පන්දුව යොමු කලේ සියවසේ ගෝලය නමින් පසු කලෙක නම් කල ගෝලය තම නම ඉදිරියේ රදවමිනි..


⚽මෙම ගෝලය හා සබැඳි අනෙක් මතක සටහන වන්නේ එදා තරගයේ විස්තර විචාරකයා වූ වික්ටර් හියුගෝ  මොරාලෙස්ගේ ප්‍රකට විස්තර විචාරයයි..


 "ගෝල්....ගෝල්....මට හැඬීමට අවශ්‍යයි..ඕහ්....මගේ දෙවියනේ...පාපන්දුව සදා කල් වැජඹේවා..දියේගෝල් ! මැරඩෝනා !..මා හැඬුවොත් මට සමාව දෙන්න !..අමරණීය ධාවනයක්....මැරඩෝනා ඔබ පැමිණියේ කිනම් ග්‍රහ ලොවකින්ද"....


⚽ඉතින්...අදින් වසර 34 කට පෙර ඒ අමරණීය ධාවනයේ  යෙදුන දියේගෝ අල්මන්⁣දෝ මැරඩෝනා පාපන්දුව මෙන් දෙපස⁣ට දෝලනය වූ සිය අරුම පුදුම දිවි ගමනද නිමා කර අවසානය..


⚽දැන් ඔහු අයිති දෙව් ලොවටය.. නැවතත් තරුණ වියට එලඹුණු මැරඩෝනා කුරුල්ලෙකු මෙන් සැහැල්ලුවෙන් දෙව්ලොව සදා හරිත තණ නිල්ල මත තමාට පෙර එහි ගිය විශිෂ්ටයන් සමග එක්ව සුපුරුදු දඟකාර කම් පාමින් ක්‍රිඩා කරනු ඇත..එසේම තමා අනුගමනය කරමින් පාපන්දු ලොව ජය ගන්නා ක්‍රිඩකයන් දෙස බලමින් සතුටු වෙමින් ඔවුනට ආශිර්වාද කරනු අැත..


ඔබ නොමැති පාපන්දු ලොව අපට බොහෝ පාලු තැනක් වනු ඇත..නමුත් විශිෂ්ටයානෙනි ඔබට සමු දිය යුතුව ඇත..මැරඩෝනා.....ඔබට සුබ ගමන්........😥😥..


  මීට SL Football පවුල

No comments:

Post a Comment

රන් දරුවාගේ අමරණීය ධාවනය

  ⚽⚽රන් දරුවාගේ අමරණීය ධාවනය... ⚽ඒ 1986 ජුනි 22 දාය.මෙක්සිකෝ⁣වේ අගනුවර වූ මෙක්සිකෝ සිටි හි පිහිටා ඇති මෙක්සිකානු ජාතික කණ්ඩායමේ නිල ක්‍රිඩා...